Wednesday, January 2, 2013

වේල්ස්‌ කුමරි ගුරුවරිය සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාර සැමියා යළි රිමාන්ඩ්

රහස්‌ ප්‍රකාශයකට සැකකරුට අවසර ලැබේ
චමින්ද සිල්වා, 
ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය


වේල්ස්‌ කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාර සැමියා ලබන 07 වැනිදා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (01 වැනිදා) නියෝග කළාය.

විඡේමුණි මධුරංග ද සිල්වා නමැති සැකකාර සැමියා ඊයේ (01 වැනිදා) මැගසින් බන්ධනාගාරය මගින් ගල්කිස්‌ස අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ ගල්කිස්‌ස පොලිසියේ කොස්‌තාපල්වරුන් වන ප්‍රියංකර සහ බණ්‌ඩාර යන මහත්වරුන් විසින් සැකකරු භාවිත කළ ලැප්ටොප් පරිගණක තුනක්‌, ජංගම දුරකථන තුනක්‌, ඩොන්ගල් දෙකක්‌, පෙම්වතිය භාවිත කළ ජංගම දුරකථන දෙකක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පෙම්වතිය භාවිත කළ එක්‌ ජංගම දුරකථනයක්‌ සැකකරු විසින් ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇතැයිද කීය.



ප්‍රධාන සාක්‍ෂිකාරියක වන සැකකරුගේ පෙම්වතිය විදේශ ගත වීමට උත්සහ දරන බවත් එය නැවැත්වීමට නියෝග කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකරු සිය පෙම්වතිය සමඟ කොළඹ පිහිටි ආපනශාලාවකදී 2012-12-15 දින ආහාර ලබාගත් බවට එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා මගින්ද තහවුරු වී තිබෙන නිසා එහි පිටපතක්‌ ලබාගැනීමට සහ එහි සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ආපනශාලා කළමනාකරුට නියෝග කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ රංජිත් දහනායක මහතා කරුණු දක්‌වමින් මෙම සිද්ධිය රටේ මහත් ආන්දෝලනයට තුඩුදී ඇති නිසා විත්තිකරුට උපරිම දඬුවම් ලබාදීමට පරීක්‍ෂණ ඉක්‌මන් කරන ලෙස ගල්කිස්‌ස පොලිසියට උපදෙස්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරිය පරිගණක, ජංගම දුරකථන, සිම්කාඩ් අදාළ ආයතන වෙත ඉදිරිපත්කර තොරතුරු වාර්තා ලබාගෙන ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට උපදෙස්‌ ලබාදුන්නාය.

එමෙන්ම සැකකරුගේ පෙම්වතිය විදේශගත වීම වළක්‌වාලමින් ආගමන විගමන පාලකවරයාටත්, සැකකරු ආහාර ලබාගත් ආපනශාලා කළමනාකරුටත් පොලිසියට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

මරණ පරීක්‍ෂණ වාර්තා සහ සාක්‍ෂිකරුවන් ලබන 07 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කෙරිණි. මෙහිදී සැකකරු විසින් රහස්‌ ප්‍රකාශයක්‌ ලබාදීමට මහෙස්‌ත්‍රාත්වරියගෙන් කළ ඉල්ලීමටද අවසර ලැබිණි.

පසුගිය දෙසැම්බර් 17 වැනිදා රත්මලාන කල්දමුල්ල ප්‍රදේශයේ 31 හැවිරිදි පාසල් ගුරුවරියක වන බිරිඳ සහ තුන් හැවිරිදි හා මාසයක්‌ වයසැති දරු දෙදෙනා ඝාතනය කිරීම පිළිබඳ සැකකාර සැමියාට චෝදනා එල්ල වී තිබේ.

(Cull From Diwayina)